සිංහල අකුරු මෙතනින් ගන්න.

Tuesday, March 29, 2016

අදටත් සමිඳ ඔබ ජීවත්වනසේක (A poem for Easter)


රුදු කුරුසියක පණ නල සිඳුනා            නේද
මුළු ලොව අඳුරුවී අහසත්               හැඬුවාද
පර්වත සැලී සැමටම දුක                    කීවාද
සිකුරාදාව කඳුලින් පිරුණා                  නේද

රෙදිකඩ ඔතා සමිඳුගේ නිසසල           සිරුර
සතපා තැබුණි සොහොනක අැති ගල්   කුහර
මියැදුණු දෙනෙත වැසුණෙය දිලෙමින් රුහිර
දැනුනේ නැතිද ජය අැති බැව් දැන්        නුදුර

අරුණැලි නැඟෙන විට ඉරුදින ගෙනෙන්නට
සොහොනෙහි නිදන මළ සමිඳුන්    දකින්නට
දැක දැක දුකට යළි යළි තව           හඬන්නට
මරියා ගියෙද මියැදුණු ඔබ              දකින්නට

විවරව තිබුණි දොරටුව සොහොනෙහි මැද්දේ
දුටුවිට දසුන මරියගෙ හදවත             ගැස්සේ
පුදුමෙකි එතුන රෙදි කඩ පමණයි      අැත්තේ
මියැදුනු සිරුර තිබු තැන දැන්නම්     නැත්තේ

මරණය පරදවා ඔබ               නැගිටුණුසේක
මුළු ලොව මවිත කළ උත්ථානය         මේක
සොහොනට, කුරුසියට බල නැත    කිසිදාක
අදටත් සමිඳ ඔබ  ජීවත්වන                 සේක

ගතවී ගියෙද දෙදහස් වසරක්             නේක
සත්‍යය ඔබම වී මුළු ලොව දිනු           සේක
රජතුම ලෙසින් ඔබ යළි            වඩිනා දාක
දෙව්ලොව වෙතට හිමි මා ගෙය    යනසේක


© Enoch Mahesh Silva

Friday, August 28, 2015

ඒ පෙම් කුසුම සිඹ සිඹ මා මියැදෙන්නම්

අකලට බැඳුනු පෙම වුව දළුලා වැඩුනි
පතුලට හදවතේ එය ගැඹුරට ඇදුනි
කඳුලට සිනහවට නිතරම පොර බැදුනි
‍ලොවකට නොවැටහෙන ආදරයක් රැඳුනි

නෙක විධ ගැහැට මැද ඈතට ගලා ගිය
සුන්දර පෙමට තහනම් එමකටම විය
දිවි දෙන තරම් කළමුත් ආදරය සිය
කඳුලැලි මහමෙරක් ලෙස විඳවන්න විය

අමතක කරනු බැරි තරමට ළංවීනම්
දෙ‍තැනක හිඳ වුවද තරමක් සැනසෙන්නම්
අවසන් සුසුම පුදදෙන තුරු ළතැවෙන්නම්
ඒ පෙම් කුසුම සිඹ සිඹ මා මියැදෙන්නම්


© Enoch Mahesh Silva

Thursday, March 15, 2012

තවත් ඉරු දිනකි අද...

තවත් ඉරු දිනකි අද
ගියෙමි දෙව් පාමුලට
හදවතම පිරීගිය
දෙව් සෙනෙහෙ නිමක් නැත...

නැතත් මහ මන්දිර
රියක් සක කරැකවෙන
බැඳන් පොදි සල්ලි මිටි
අගෙයි මගෙ ජීවිතය...

සිනහවද කඳුල ළඟ
එක ලෙසම හිනහෙන්න
දිරිය මට අදත් ඇත
ස්තුතියි යේසුනි ඔබට...

© Enoch Mahesh Silva

Monday, July 18, 2011

බිරිඳට ලියූ කව...

රුව ගුණ සුවඳ නිතරම දිස්නය දේවී
රතු කැටයකට වැඩියෙන් අගයක් ඒවී
පාලුව අඳුර මගෙ නිවහන හැර යාවී
සතුටට පිරුනු සිනහව මුව ඉතිරේවී

හසුනක රැඳී ලියලා ගිය පෙම් පුවත
දසුනක පහස විඳ හැඩවිය දිවි පෙවෙත
කඳුලක සිනහවක යාවුණු ඔය දෙනෙත
යොදුනක දුර ගෙවා ඔබ සතුවිය මවෙත


ඉකි ගස හඩා වැළපුණ මුදු කඳුළු මැද
ඉවසා දරා සැනසුණි අප තුරුණු හද
විට විට නැගුණු සීමා මහ පවුරු බිඳ
අද පෑයුවා නිල් අහසට මගේ සඳ

දෙවිඳුන් දුන්නු ආදරයත් දෝත දරා
සුරදූතියක ආවෙද මගෙ සිහින කරා
මුව අග සුසම් මගෙ දිවියේ රැ‍දෙන තුරා
ඔබ පියබඳක වනු ඇත මට දිවිය පුරා


© Enoch Mahesh Silva




































Thursday, November 11, 2010

බැල්මක් කළ හදිය

සිත්මල් පතුල හාරා එහි නිදන් වන
සිතුවිලි සයුර කළඹා නිති උදම් වෙන
මොහොතින් මොහොත දවසෙම මට මතක් වෙන
ඔය රුව මැකෙනු නැත මට ඇති තුරා පණ

හද ගැබ විනිවිදන් බැල්මක් කළ හදිය
ඔය ඇස් දෙකට උපමා රූපක මදිය
වියළී නතර වී තිබු පෙම්බර නදිය
ආයෙත් ගලනු ඇත සිත ඔබටම ලැදිය

සේයාරුවින් පමණක් ඔබ දැක ගන්න
හැකිමුත් නොහැක ඔබ හා දොඩමළු වන්න
වරමක් නොමැත මුදු ඇසිපිය සිපගන්න
කවුරුද පිනැති පෙම්වත ඔය අත ගන්න

සිහිනය ලෙසින් මට අහිමිව යන දෑත
වළකනු කෙලෙස පරවී යන මල් දෝත
ඔබ තව යාවී දසුනින් නොපෙනෙන ඈත
ඉවසා තනිව ඉන්නම් මේ රෑ සීත

© Enoch Mahesh Silva

Monday, September 20, 2010

දෙව් පෙම කොයිතරම්දැයි ලොවටම පෙනුණි

පාපයේ වළාවෙන් අඳුරුව මිනිස් ලොව
සාපය වැළඳගෙන කරතිය තවත් පව
මේ යන ගමන කෙළවර නැත අරුත් බව
දනිතත් අයාලෙන් යති ඒ නිසයි සොව

අදමිටුකමින් මනුසත් ලොව මුදවන්න
දෙලොවින් ඇවිත් පොළවෙහි විය උපදින්න
රජ සැප නොමැති ගව ලෙන තුළ සැතපෙන්න
දෙවිඳුන් මිනිස් වෙස් ගති අප ගළවන්න

රෝ දුක් වේදනා විඳි අසරණ මිනිසුන්
කිසිවෙකු සරණ නොලබා නිති විය සිහිසුන්
එතුවක් ගෙවූ හැමගේ ජීවිත හරසුන්
සමිඳුන් එළි කළා දුරු කරමින් කෙලෙසුන්

කිසිවිට කිසිවෙකුට වරදක් නොකළ මුදු
යේසුස් නමට කම්පිත විය යකුන් හුදු
ගත කළ ජීවිතය නොකිලිටි ඉතා සුදු
සමිඳුගෙ දිවිය කෙළවර නම් වුණා රුදු


විසකටු පිරුණු කිරුලක් සිරසට වැටුණි
තිස් නව වරක් සමිඳුව කසයෙන් තැළුණි
දෑතම දෙපසා විහිදා කුරුසෙට ඇනුණි
දෙව් පෙම කොයිතරම්දැයි ලොවටම පෙනුණි

ලේ ගඟ ගලා යනවා සිරි දෙපා අග
පාපයේ මිලය ගෙව්වා කුරුසියේ නැග
සාමය සතුට සුවයද ඇත සමිඳු ළඟ
එනු ඔබ සැවොම නව දිවියට මෙයයි මඟ



© Enoch Mahesh Silva








Friday, August 20, 2010

දවසින් දවස වැටුනත් තරු බිමට ගතේ - නුඹ බැබලෙනවා සිරිලක හැමදාම පුතේ

සුරු විරු සෙබල පුතුනට නිති ජය කැන්දා
මුළු ලොව හොඳම සෙන්පති ලෙස නම රන්දා
පිට කොඳු නොබිඳගත් විරුවකු වන හින්දා
ඔබ සිර කරති නිවටයො කැල භය හන්දා


මරණය ළගින් පණ ගෙන නැගිටුනු අරුම
ඔබ නැති විටෙක නැවතුණි යුද පෙරමුණම
යුද බිම පෑ විකුම් පෙළහර දනිති සැම
ඒකයි සටන නැවතුණෙ ඔබ එන තුරුම 

කළ ගුණ නොදත් මිනිසත්කම් නොමැති වුන
උන් සිර කරයි ඔබ  කොටි නම් ළගට ගෙන
නොනැමුණු දෙදන උන් ඉදිරියේ තියෙයි පණ
කොහොමත් එපා පිළිගන්නට උන්ගෙ බණ





වීරිය දිරිය නිති රැඳවුණි ඔබගේ හිතේ
ඉදිරිය මිසක පසු පස නොරැදුණි දෙනෙතේ
දවසින් දවස වැටුනත් තරු බිමට  ගතේ
නුඹ බැබලෙනවා  සිරිලක හැමදාම පුතේ

©ems