සිංහල අකුරු මෙතනින් ගන්න.

Tuesday, December 29, 2009

අපේ දෙස්පලුවෝ

රට කරවන්ට විඳිනා දුක් බැලූ විට
දිවි පරදුවට තියනා අය දකින විට
කිසි දින නොදුටු මුත් හසරැල් නඟන කොට
නොම දී ඉඳීවිද කතිරය නිසි කලට

කලින් කලට පමණයි අප හමුවන්නේ
හමුවන වරින් වර ඔහුනම් තර ‍වන්නේ
අපගේ කඳුළු කිසිවක් නෑ අඩු වෙන්නේ
දෙපිලට බෙදී අපි වෙනුවෙන් පොරකන්නේ

බලයෙන් වැටී යන විට ඉන්නා අසුනින්
යළි අප සොයාවිත් සිය පිට කොඳු නමමින්
මුලු ලොව අප දෙපා මුල ගෙනෙනා විලසින්
පොදි බැඳි පැතුම් ඇත මතු ඉටු කරන ලෙසින්

"අනුවණ දනා අපි රැවටුවෙමු"යි සිතමින්
නොසිකා නැවත එම දෙය යළි යළි කරමින්
දැන්වත් හුදී මහජන සුව සෙත වෙනුවෙන්
කැපවෙනු බැරිද රට කරවන හැම උතුමන්?

©ems

Tuesday, November 24, 2009

සනසවන්නට තවම දිරි ඇත..

නෙත් සරින් සැරි කඳුළු කැට කැට
සාගරේ සේ ගලා යද්දී
කඳුළු තෙලිතුඩ පුංචි දෑසේ
දුක්ඛ සිතුවම් මවාලද්දී
පිසාලන්නට දිලෙන කම්මුල
දෑත දිඟු නැහැ නොවේ නංගී
වියෝවේ මහ පවුරු බැඳ ඇත
අප මැදින් මුලු ලොවම හැංගී

රකින්නට ඔබ සදාතනිකව
සෙනෙහසක් පෙර දින ලැබූ
රොන් උරා ගෙන බිඟුන් ඔබගේ
යහන රත් පැහැයෙන් වැසූ
සුමුදු මල් පෙති තැලී පොඩිවී
විසිරුණා දින ඔබ හැඬූ
වැටුනෙ මල් වරුසා නොවේ
නව නිගාවන් අවමන් සැදූ

ඇසිපියන් යට සැඟව ඇත්නම්
අහිංසක සිහිනයේ නටබුන්
සනසවන්නට හිතට දිරි ඇත
නගේ පෙම්බර හද හැඟුම්
ලෝකයේ රුදු ඊ හිසින්
හද සිදුරු වූවත් පණ පිටින්
ලැගුම් දෙනු මැන මගේ ළමැදට
සෙනෙහසින් ළඳුනේ ඉතින්

©
ems



Monday, November 23, 2009

මොනවා කියූවත් මා ලීවේ කවිය....

නව යෞවන වියේ පැතුමන් හද වාසේ
තව සැගවිලා නොසිටුනු ඇත හොර රහසේ
හදවත ඇදේ සොයමින් ආදර පහසේ
ඔබ පෙම් බදින්නේ වරදද ඔය වයසේ

පෙම් කෙරුවාට දෙදෙනෙකු තම තුරුණු දිනේ
වරදක් නැති නමුත් බිදුනොත් බැදුනු සෙනේ
දුක් සෝ වේදනා දෙදෙනා හද රැදුනේ
කදුලක තනිවෙලයි ජීවිතයම ගෙවුනේ

ප්‍රේමය තවම විද නැත්තේ කවරහුද
සොයමින් නොයනු පැටලෙන්නට පෙම වරද
සෙනෙහස පුදා ඇත්නම් දැනටම දෙහද
වෙන් නොම වෙලා එක් වී ඉනු මැන සබද

පෙම් කර නසා ගති බෝ දෙන සිය දිවිය
ආදර කතා කළ සමහරු අත අවිය
ප්‍රේමය නිසා නොපුදනු යෞවන සවිය
මොනවා කියූවත් මා ලීවේ කවිය

© ems

කවියත් වෙනස් කරනු බැරිද?

මෙතුවක් මා ඇසූ සිංහල ගීතවල
තිබුණේ සිහල පද වැල් තේරෙන අපට
එනමුත් අද ඇසෙන සමහර ගීතවල
නෙකවිධ වෙනස් භාෂාවල වචන ඇත

අරුතක් ඇතත් නැතුවත් ඔබ ඒ ගීත
අසනා හෙයින් බලමින් මේ කවිය දෙස
නොකියනු මෙමා බුද්ධිය නැති සිහි විකල
කවියෙකු කියා අරුතක් නැති කවි ලීව

cap පිටුපසට පළඳා ගෙන යන මෙකල
tap එක විවර කළ වාගෙයි rap නිතර
කවියත් ඉතිං රැප් කර තිබුණොත් යසට
කවුරුත් පෙම් බඳියි කවියක ඒ රසට

කාලෙට අනුව තාලය දැමු ගී ඇසෙන
ගෝලියකරණෙ හැටි වෙන්නැති මට හිතෙන
මේ වගෙ කලට එක එක විදියට නටන
ජාතික ගීය පුදුමයි රැප් කර නැතුව

කාලෙට අනුව හැම වෙනසම සිදු වෙද්දී
පැලඳුම් ඇඳුම් ආහර නෙක විධි එද්දී
ගීතය නැටුම රංගන වෙනතක යද්දී
මා හට සිතුණි කීමට කවි වෙනසක් වී


©ems




Friday, November 20, 2009

කවියක් විය නැගුණු තනිවුන හදවතක.....

සතුටේ සඳු වසාලන දුක් වළාවක
ගතවුනු විවේකය මා ලද නිමේෂෙක
පද වැල් ගොනු වෙලා මා මැව් සිහිනයෙක
කවියක් විය නැගුණු තනි වුන හදවතක

දිවියේ දෙනෙත් අභියස හමුවන ගැහැට
කඳුලැලි පිසින සුදුවන් දෙඅතක් සුමට
රලු කතරක් වෙවී වියළෙන දිවියකට
ඔබ විය දිය දහර ඉහිරුනු මගෙ හිතට

රැඳෙනා තුරා හැම සුසමක් මගෙ මුවඟ
පියවෙන තුරා කවදා හෝ මගෙ නෙතඟ
සිටිනා තුරා උණුසුම ළග මගෙ ළමැද
සරනා තුරා සසරේ ඔබ ළග නිබඳ

සුරඹුන් සැරිසැරූවත් මිහිපිට දසත
ඔබ රුව මැවේවා පෙම්බර මගෙ දෙනෙත
අවසන් සුසම් පොද මා හෙලනා මොහොත
ඔබ ළඟ සිටියොතින් එය වේ මගෙ සැපත

ගෙවෙනා හැම නිමේෂෙක ආදරයේ රස
ඔබ විය මගේ මුවේ සිනහවෙ රැදි රහස
මා මියැදුන පසුව ලැබුවොත් දුක් පහස
කවුරුද පිසින්නේ ආදර ඔබෙ දෑස
© ems

මෙහෙමත් හඬන්නේ නුඹ හින්දා කවුරු...?

සයුරු බිමට ගියදා නුඹ මාව දමා
දෙනෙත මගේ හැඩුවා මුලු ගතම තෙමා
මා වටකර ඉන්නේ කඳුකරය තමා
එන්න හිතයි වෙරළට නොම වීලා පමා

නොකී නමුත් නුඹ මෙහි සිටි දවසකට
හොර රහසේම බැඳුනා හදවත නුඹට
පුංචි වැඩි නිසා නුඹ තව පෙම් ‍ ලොවට
කොහොම කවන්නද පෙම් විස නුඹෙ හදට

දන්නේ නැති නිසා මගෙ ආදරය ගැන
වෙන්වී ගිය දවසෙ නුඹනම් හිනා වුන
බිඳක් සිනාසී සමු දුන්නත් වුවන
නුඹ නොදුටුව තැනක් මගෙ හැඩුවා එදින

දුටුවද තැවී අඹුවක් හඬනා අයුරු
සැමියෙකු ලොවෙන් සමුගන්නා විට සොඳුරු
එලෙසම හඬා වැටුනා හද බිඳ පවුරු
මෙහෙමත් හඬන්නේ නුඹ හින්දා කවුරු

වියළී දිනෙන් දින තිබු ඇස් හිනා වෙවී
කලකට පසුව තෙමුනා දිනයකදි රවී
සනසන්නට අසල සිටිමුත් මාගෙ දෙවි
සිත මගෙ ලියා දුන්නා මේ කඳුලු කවි

දෙවියන් වරම් දේ නම් ඔබෙ අත ගන්න
පුංචි රටේ සිටියත් ඈතට වෙන්න
නිසි කල වයස සපිරෙන විට ඔහෙ එන්න
මට හැකි වේවි නුඹ හා නිති සැනසෙන්න

නුඹ ඉදිරියේ අන් හැම අඳ ගොළු වේවා
ඔය රූසිරිය වෙන කෙනෙකුට නොපෙනේවා
මා එන තුරුම නුඹෙ දිවි පිවිතුරු වේවා
මට විතරක්ම ඔය සඳවත හිමි වේවා

© ems

එතෙර ගිය සෙනෙහස..

පොල් අතු සෙවිලි කළ පැල්පත වහල කොනින්
රූරා වැටෙයි වැහි බිඳු ගෙයි බිම තෙමමින්
බිළිඳා හඬයි කුස ගින්නට කිරි යදිමින්
අම්මා සොයයි කිසිවක් පුතුනට දෙන මෙන්

හදවත දරන් නැත මෙතරම් දුක් ගැහැට
කෙලෙසින් බලා ඉන්නද ඇය වැද ගෙයට
සයුරින් එතෙර ඈතින් ඇති දුරු රටට
අම්මා ඉගිල යයි අත මිට නැති කලට

පියතුම් ළයේ තනි වූ බිළිඳුන් බලමින්
ඇය එනතුරුම නෙත් දල්වා ගෙන හිඳිමින්
ලැබ දෙන නමුදු පිය සෙනෙහස හැම අයුරින්
දූ පුතු වැඩේවිද මිදෙමින් මව් සෙනෙහෙන්

අතමිට සරු කරන් රන් මිණි මුතු ගෙනෙමින්
මව් යළි පැමිණියත් දරු සම්පත සොයමින්
දරුවන් නොමඟ ගිය විට දුසිරිත් හැමෙකින්
අගයක් වේද ඇය හෙලු දහදිය කඳුලින්

© ems

Wednesday, November 4, 2009

...මිහිරිය ඔබයි...

යෙහෙළිය ඔබයි නිති මා සමඟින් යනෙනා
සෙවණැලි ලෙසින් ඔබ මා පසුපස රැ‍ඳෙනා
පහනක් වෙලා නෙත් ඉදිරිය එළි කරනා
මිහිරිය ඔබයි මගෙ දිවි සුව යස ගෙනෙනා

සංකා සිතින් දුටුවෙමි මෙලොවේ මායා
ඔබගේ නෙතින් පළවුනි මුල් පෙම ඡායා
මහදේ නැගුණි පෙම් කුසුමන් නෙක සේයා
එම දින දිලුණි තරු කැන් සතොසින් පායා

ඉපදුනු නිසා මෙතුවක් මිහිපිට වසමින්
සිටියේ කෙදිනදෝ මියැදෙන්නේ සිතමින්
ඔබෙ පෙම නිසාවෙන් එම සිතුවිලි නසමින්
මතුවට ගෙවන්නෙමි මම දිවි ඔබ වෙනුවෙන්

සැනසුම සතුට පිරි නිවහල් අපෙ ලොවට
ඔබ මා පැමිණී දා එක වහලක් යටට
හොඳ පතිනියක වනු මැන සැමදා මහට
සදහට වාසනා වේවා අපෙ පැලට

©ems




Tuesday, November 3, 2009

....හදවත කැකුළ විය පීදෙන පෙම් හිරුට....

දෝතට නෙළා ගත් මල් පෙති සුළඟෙ ගියා
ගඟකින් කැපූ නෙළුමන් ගඟ දිගේ ගියා
සතුටට හෙළූ අස්වැසුමන් මැකී ගියා
වාසනාව මා හැරදා යන්න ගියා

මා ලද සියලු දේ මෙතුවක් දුක දරලා
ලෙය දහදිය එහැම යට ඇත සැඟවීලා
අපමණ වරක් ඇත මියැදෙන්නට සිතිලා
කඳුලැලි මිතුරු විය මා හා තනි මකලා

ඔබ හා බැඳී ඇත මගෙ සිත පෙම යාවී
පිටුපා නොයනු යළි මා අසරණ වේවී
මා හා පෙම් කෙරුම අභිමන් නො ගෙනේවී
එනමුදු අහක නොබලන් මගෙ සඳ සාවී

බැලුවත් එබී හිනැහී මා කැඩපතට
මොනවා බලන්නද හිතුනා මගෙ හිතට
හදවත කැකුළ විය පීදෙන පෙම් හිරුට
සිතුවිලි හඬනවා නිතරම මගෙ දුකට

©ems



යළි හමු නොවෙමු !

ජීවිතය පුරාවට
ගලයි කඳුලැලි නෙතට
නොනැවතී හදවතින්.....
මා පැතූ සොඳුරු ලොව
මගේ නෙත් අභියසම
බිඳී යයි සුන් වෙලා
ඔබේ සිනාවන් මැද......
නිල් නුවන් වැසී ගිය
සුදු සේල සේදයෙන්
වැසී යයි මා දසුන්
ඔබේ මංගල දිනේ......
ඝන මේඝ වළාවක
තනිව මා අඳුර මැද
ඉකි ගසමි වියෝවෙන්
හුදෙකලා ලෝකයක......
නිමක් නැති සසර තුළ
හමුවුනොත් යළිත් අප
වෙන්ව යමු දුර ඈත
පෙම්වතුන් නොවන ලෙස...
මන්ද අපි එක් වරක්
"ආදරය" නම් වදන
නිගාවට පත් කෙළෙමු
එහි අරුත කෙලෙසමින්
රිදුම් දී හදවතට...
ආදරය අමිහිරිද?
නැත සදා සුන්දරය....
ජීවනය ඇත්තේද මිහිමතේ ඒ තුළය
එහෙත් එය අපටනම්
කිසිම දා නොලැබේවි
නිමා වන තුරුම මේ
සංසාර මාවත........

©ems




Thursday, October 29, 2009

සිහිනයක් සේ නිමව ගිය පෙම


ආදර හසරැල් මුව සරසාලා
දුටුවිට මගේ හිත සනසාලා
යා වුනු දෙසිතක් එක් තැන් වීලා
පැටලුනි සිහිනෙක පෙම් සුව පාලා

දින දින ගතවී කාලය යාවී
මා හා සිටි ඔබ දුරතක පාවී
බිඳ බිඳ එක්වී සදහට වෙන්වී
ඔබ රතැඟිලි මට හැමදා අහිමි

ශෝක සුසුම් නොම වේවා ඔබ හට
ගිනි ගෙන දැවුනත් පෙම් කළ මගෙ හිත
හිමි නැති ඔබෙ ලොව නොපෙනෙන ඈතට
යන්නෙමි මා ඔබ නෙත නොගැටෙන්නට..

©ems

යළි රිදුම් නොදෙන්නෙමි..

කඳුළු බිඳුවක රුසිරු විඳ විඳ
දෙනෙත නුඹගේ රිදුම් දුන්නට
රිදුනු නෙත ළඟ සිසිල වෙන්නට
පතමි සැමදා ළඟින් ඉන්නට

මගේ ජීවන මඟේ දැල්වුන
රන් පහන් ටැඹ නුඹය සදහට
පාලු දිවියම එකලු කළ සඳ
අරුත ලැබුවෙමි අලුත් දිවියක


මං නිසා ඔය පුංචි ඇස් දෙක
උතුර උතුරා කඳුළු සැලුවද
රත්තරං හිත රිදෙව් වරදට
ඉතිං නුඹ මට සමා වෙනවද

නුඹ හෙලූ හැම කඳුළු කැටයම
සිනාවන් කොට නුඹට දෙන්නට
නගේ දිනයක සත්තකින් මම
සපත කළ හැටි නුඹට මතකද

ඉතිං මාගේ සෙනේ අරගෙන
සදාකල් නුඹ සිනාසේවා
මගේ නෙත් යුග පියාගත්තද
නුඹේ උණුසුම මට දැනේවා......

©
ems



"ලොව ධර්මතාවයන් අප කෙරෙහි එලෙසමය"


අඳුරු මුලු ගුවන් ගැබ - එළිය කළ සුපුන් සඳ
පරදවන වත මඬල එදා මා දුටු නමුත්....
රැළි නැගුණි නළල් තල - හැරමිටෙන් වාරු නැග
යනෙන මේ මහලු කත මන්ද අද එක් තැන්ව...
මිනිස් දිවියත් හිරුට - සම වෙතැයි මට සිතුණි
එහෙත් හිරු කිරුණ නම්..
උදේ නැග සවස බැස..
යළිත් පසු දිනත් ඒලෙසින් පායන නමුදු.....

අපේ මේ ජීවිතය පසුවදා නැවුම් වෙද...
පෙර සේම සිටි ලෙස.....
එසේනම් නොවනු ඇත - කිසිම දා මන්ද යත්....
ලොව ධර්මතාවයන් අප කෙරෙහි එලෙසමය.......

©ems



Wednesday, October 28, 2009

...අවසන් වසරේ බැඳි පෙම...

පුන් සඳ පෑයුමුත් හැම පුර පෝයටම
නුඹෙ රුව දුටුවෙ අදමයි මම ඇත්තටම
ගත වුනු තෙවසරක නොබැඳුනු රුවට මම
බැඳුනේ දෙතුන් පැයකින් මේ ලෙසට කිම

සුන්දර සිනහවට දෙනුවන ළඟට වෙලා
ඉන්නට හිතෙනවා ඇසි පියවත් නොහෙළා
දහසක් පැතුම් පොදි බැන්දට සුසුම් හෙළා
මෙය ඉටු නොවෙන සිහිනෙකි මා වුනෙද මුළා

දෙනෙතට දෙනෙත හමුවන හැම මොහොතකට
මා නෙත පැරද ගියෙ ඔබ ගෙන් ඉවතකට
මුවඟින් නොකීවත් වදනක් දවසකට
ඔය ඇස් කතා කෙරුවා හැමදාම මට

තුන් වසරක්ම මා සිත මෙහි සලිත නොවී
හිටියත් පෙමට හද නතු වෙන්නට නොම දී
අවසන් වසර නිම වෙන්නට ළං වෙද්දී
ඇයි මේ සලිත වුනෙ මගෙ හදවත රිද්දී

ඔබ වෙන හදක් හිමි කර ගත් බව දනිමි
මා ළඟ ඉන්න නුඹ නොඑනා බව දනිමි
එනමුදු තවම සිහිනෙන් ඔය රුව දකිමි
මට හිමි නැතත් රත්තරනේ සුභ පතමි

© ems

Monday, October 26, 2009

...නෙතක් එකම තැන රැන්දූ ඔබේ සිනා කැළුම් පොදක්....


සුරත් නෙලුම් පෙති අතරේ සැගවුණු සුදු වළා රොදක්
ඉඩක් නොමැති ලෙස සිටවූ ධවල කුළුණු මහා පෙළක්
නෙතක් එකම තැන රැන්දූ ඔබේ සිනා කැළුම් පොදක්
හිතක් රැගෙන මේ තරමට දුර ගියෙ ඇයි සොයා ළදක්

ඔබ හිනැහෙන විට විහිදා සුදුවන් වූ දිමුතු දසන්
පෙරනිමිත්ත සුභ වෙනවා හැමටම ඔබ දුටු දුටුවන්
ආදර හද නදියක් වී ගලනවා අද කොනක පටන්
මට ඔබ නොම දැක ඉන්නට බැරි වුනි මේ ළඟක ඉදන්

පෙම්බර බැලුම් නොහෙළන්නට ඔබ දෙසට
සිත තරයේම අදිටන් කර ගත් ලෙසට
ඉඳිනට වෙර දැරූමුත් ඔබ දකින කොට
ආසයි කියන්නට පද බැඳ කවි රසට

ආඩම්බරයි වාගේ ඔය සුදු මුහුණ
සඳ වාගේ තමයි කෙස් රොදකින් වැසුණ
යට ගිය දවස මගෙ ආදර තතු නැගුන
හින්දද තවම නොබලන්නේ මගෙ මුහුණ

© ems


හිමිදිරියේ....මගේ නංගී....

දිනිසුරු නැගෙන විට හිමිදිරි ශිඛර පිට
රූසිරි කුසුම් වත විහිදා පිපෙන විට
නිති සරු ඵල බරින් බරවී සැලෙන කොට
සුමියුරු සුගන්ධය පැතිරේ හතර වට

නිළඹර සිසාරා විහගුන් පියඹද්දී
සුමධුර ගීත වැල් තුඩගින් මුමණද්දී
මා හද ලැගූ සංකාවන් දුරු වද්දී
ආවෙද පවන් සිහිලෙන් නව දිනයක් දී

‍සුදුවත හැද පැළද සමනළියක් වාගේ
පොත පත තුරුලු කොට මුදු ළමැදට ඈගේ
කැඩපත බලා හිනැහෙන නැගණිය මාගේ
ගත සිත පවා සනසයි හිමිදිරි රාගේ

පතමින් යළිත් මගෙ නැගණිව උපදින්න
විදු මව් පියස වෙත ඔබ පිය මැන යන්න
ඔබ මව් පැතුම් නොතලනු ඇය හඩවන්න
ලැබගන් ශිල්ප කිසිවක් නොම අඩුවන්න

© ems

Tuesday, October 13, 2009

පරව ගිය මල.....

"ප්‍රේම නිළඹර තෙදින් දිලිහී
නැගී හිනැහුන හිරුට විකසිත
අවර අහසේ පිපී සුදිලුන
සදේ රැස් මල් බලා මුකුලිත
නෙතට නොපෙනෙ හදේ ගැඹුරුම
කොනක ඇති වුන උතුම් සෙනෙහස
කියා ගන්නට වරම් නොම ලද
පරව ගිය වන මලක් ‍සේ විය....."

© ems