සිංහල අකුරු මෙතනින් ගන්න.

Monday, September 20, 2010

දෙව් පෙම කොයිතරම්දැයි ලොවටම පෙනුණි

පාපයේ වළාවෙන් අඳුරුව මිනිස් ලොව
සාපය වැළඳගෙන කරතිය තවත් පව
මේ යන ගමන කෙළවර නැත අරුත් බව
දනිතත් අයාලෙන් යති ඒ නිසයි සොව

අදමිටුකමින් මනුසත් ලොව මුදවන්න
දෙලොවින් ඇවිත් පොළවෙහි විය උපදින්න
රජ සැප නොමැති ගව ලෙන තුළ සැතපෙන්න
දෙවිඳුන් මිනිස් වෙස් ගති අප ගළවන්න

රෝ දුක් වේදනා විඳි අසරණ මිනිසුන්
කිසිවෙකු සරණ නොලබා නිති විය සිහිසුන්
එතුවක් ගෙවූ හැමගේ ජීවිත හරසුන්
සමිඳුන් එළි කළා දුරු කරමින් කෙලෙසුන්

කිසිවිට කිසිවෙකුට වරදක් නොකළ මුදු
යේසුස් නමට කම්පිත විය යකුන් හුදු
ගත කළ ජීවිතය නොකිලිටි ඉතා සුදු
සමිඳුගෙ දිවිය කෙළවර නම් වුණා රුදු


විසකටු පිරුණු කිරුලක් සිරසට වැටුණි
තිස් නව වරක් සමිඳුව කසයෙන් තැළුණි
දෑතම දෙපසා විහිදා කුරුසෙට ඇනුණි
දෙව් පෙම කොයිතරම්දැයි ලොවටම පෙනුණි

ලේ ගඟ ගලා යනවා සිරි දෙපා අග
පාපයේ මිලය ගෙව්වා කුරුසියේ නැග
සාමය සතුට සුවයද ඇත සමිඳු ළඟ
එනු ඔබ සැවොම නව දිවියට මෙයයි මඟ



© Enoch Mahesh Silva








Friday, August 20, 2010

දවසින් දවස වැටුනත් තරු බිමට ගතේ - නුඹ බැබලෙනවා සිරිලක හැමදාම පුතේ

සුරු විරු සෙබල පුතුනට නිති ජය කැන්දා
මුළු ලොව හොඳම සෙන්පති ලෙස නම රන්දා
පිට කොඳු නොබිඳගත් විරුවකු වන හින්දා
ඔබ සිර කරති නිවටයො කැල භය හන්දා


මරණය ළගින් පණ ගෙන නැගිටුනු අරුම
ඔබ නැති විටෙක නැවතුණි යුද පෙරමුණම
යුද බිම පෑ විකුම් පෙළහර දනිති සැම
ඒකයි සටන නැවතුණෙ ඔබ එන තුරුම 

කළ ගුණ නොදත් මිනිසත්කම් නොමැති වුන
උන් සිර කරයි ඔබ  කොටි නම් ළගට ගෙන
නොනැමුණු දෙදන උන් ඉදිරියේ තියෙයි පණ
කොහොමත් එපා පිළිගන්නට උන්ගෙ බණ





වීරිය දිරිය නිති රැඳවුණි ඔබගේ හිතේ
ඉදිරිය මිසක පසු පස නොරැදුණි දෙනෙතේ
දවසින් දවස වැටුනත් තරු බිමට  ගතේ
නුඹ බැබලෙනවා  සිරිලක හැමදාම පුතේ

©ems




Wednesday, June 23, 2010

කිව්වට අනාගතයක් සුභ වෙන්න නැත !




පැතුවත් ආශ්චර්යක්              ආසියාවට
සිතුවත් අනාගතයක් සුභ           සිරාවට
දුන්නත් ඡන්ද ගොන්නක් රට     පුරාවට
බැන්නත් වැඩක් නෑ දැන් හොර ගුහාවට

පළමුව දෙවනුවත් හා තෙවනුවද  මට
වටිනවා ඒක ඇත්තයි මව්බිම     අපට
ඇන්දට සරම වැන්දට නැමිලා   බිමට
ඉම්බට දරුවො මේ රට යාවිද පෙරට?

කිරි,පිටි,සීනි කන බොන දේ වැඩි වෙනවා
යන එන යාන වාහන මිල   අඩු    වෙනවා
වැඩි කළ පඩිය තව තව දැන් කල්  යනවා
කන්නද කාරෙ යන්නද හිත  ලතැවෙනවා

යුද්ධය නිමා වී වසරක් ගෙවී           ඇත
කිව්වට අනාගතයක් සුභ වෙන්න   නැත
ඡන්දය නිමා වී දෙමසක් නික්ම       ඇත
කළගුණ හිතපු මිනිහට අද කන්න  නැත

"අයිෆා" අරන් ආවට සුදු නළු           බට්ටන්
ගැහුවොත් "සීපා" අපි හැම වෙනවා නට්ටන්
වහගෙන ඉන්න කටවල් අරගෙන    පට්ටන්
කොච්චර කලක් ඉන්නද දී ගෙන   තට්ටන්?


© ems

Monday, February 15, 2010

ඡන්දය නොදුන් අය පාගා යකා නටා - සෙන්පති සිරගෙයට ගෙන ඇත රට රවටා

තිස් වසරක්ම මුළු සිරිලක වෙළාගෙන
මේ පින් බිමේ රැඳි සාරය උරාගෙන
දෑ සමඟියට බැඳි අත්වැල් ඉරාගෙන
කොටි වැජඹුනා  මිනිසුන් හැම මරාගෙන

දහසින් දහස රණ විරු දිවි අහිමි විය
අවිහිංසකව උන් ජීවිත මිලින විය
දවසින් දවස මේ ලෙස අඳුරටම ගිය
අප රට අපිත් නොදැනම කොටියටම විය

මේ ව්‍යසනය නිමවා රට මුදවන්ට
හැම ජනපතිතුමන්  විය කොටියා මරවන්ට
යුදබිම ඇතැම් විට සිදු විය පරදින්ට
එනමුත් අවැසි විය යළි යළි නැගිටින්ට


ජනපති රැගෙන යන්නට යුදයට කැන්දා
මාවිල් ආරු වසලා කොටි දිය සින්දා
විරු දූපුතුන් ගෙන ගියෙ ජයටම හන්දා
සෙන්පති සරත් නම මුළු ලොව මන බැන්දා


යුද ජය සමරමින් ගොස් ජනබලය ගෙන
කරනා කොඩිවිනය රටටම හොඳට දැන
බලමින් තවත් ඉවසන්නට බැරිම තැන
සෙන්පති බලය පැතුවේ රට හසුරුවන

මහ ජන බලය ගොඩ නැගුණත් සරත් වටා
හැමටම අරුමයක් වුණි ප්‍රතිඵලේ රටා
ඡන්දය නොදුන් අය පාගා යකා නටා
සෙන්පති සිරගෙයට ගෙන ඇත රට රවටා


දළදා මැදුර පුපුරා සඟ රුහිරු හැලූ
දහසක් ජනී ජනයා මරු තුරුලෙ ගිලූ
රට කර දෙකඩ ඊලම බල කර ඉල්ලූ
කරුණා සැපට රජගේ අද ඉන්නවලූ

සිය දිවි දෙවෙනි කොට ගොස් මරු කට ළඟට
යළි ඉපදුනා පණ ගෙන අපගේ පිනට
රදපස පවුල ළඟ නොවැටුන වරදකට
දේශයේ මහා විරු යාවිද පෝරකෙට ? 




©ems

 













Tuesday, January 12, 2010

සුන්දර සොබාදම් මව ළඟ සැනසෙන්න..

නොවරදවාම හැම උදයෙම පායනවා
මළ හිරු රැසින් සවසට හිරු බැස යනවා
තරුපති නැඟී තරු පිරිවර කැන්ඳනවා
කළු රෑ අහස ආලෝකය පතුරනවා
 
සඳ රැස් කිරණ වැටිලා නිල් දිය මත්තේ
දිදුලන අයුරු කදිමයි ගං ඉස්මත්තේ
බමරකු රොන් උරයි සුසුනිඳු මල් පෙත්තේ
කිචි බිචි හඬ ඇසෙයි ළඟ ඇති අඹ අත්තේ
 
දලනිඳු උදම් වී මහ හඬ ගොස නඟනා
වෙරළේ හැපෙයි සුදු පෙණ පිඬු රළ බිඳිනා
මින් රැළ පාට පාටින් දියයට කිඳුනා
කරදිය සුළං රැළි සියොළඟ වට රැඳුනා


හිමිදිරි සිරිය සිඹගෙන අවදිව එන්න
සඳු නැඟ දිලෙන රැයකදි යහනට වෙන්න
දිනකදි ලබන වෙහෙසට නිවනක් දෙන්න‍
සුන්දර සොබාදම් මව ළඟ සැනසෙන්න


"විශ්වයෙ මහා පිපුරුම" ගැන මා ඇසුවත්
එමඟින් මෙවන් ලොව බිහි කළ බව කීවත්
තවමත් සිතා ගනු බැහැ මේ ලොව උපතත්
මැවුම්කාර දෙවිඳුන් පුදුමයි කවදත්

©ems















Tuesday, December 29, 2009

අපේ දෙස්පලුවෝ

රට කරවන්ට විඳිනා දුක් බැලූ විට
දිවි පරදුවට තියනා අය දකින විට
කිසි දින නොදුටු මුත් හසරැල් නඟන කොට
නොම දී ඉඳීවිද කතිරය නිසි කලට

කලින් කලට පමණයි අප හමුවන්නේ
හමුවන වරින් වර ඔහුනම් තර ‍වන්නේ
අපගේ කඳුළු කිසිවක් නෑ අඩු වෙන්නේ
දෙපිලට බෙදී අපි වෙනුවෙන් පොරකන්නේ

බලයෙන් වැටී යන විට ඉන්නා අසුනින්
යළි අප සොයාවිත් සිය පිට කොඳු නමමින්
මුලු ලොව අප දෙපා මුල ගෙනෙනා විලසින්
පොදි බැඳි පැතුම් ඇත මතු ඉටු කරන ලෙසින්

"අනුවණ දනා අපි රැවටුවෙමු"යි සිතමින්
නොසිකා නැවත එම දෙය යළි යළි කරමින්
දැන්වත් හුදී මහජන සුව සෙත වෙනුවෙන්
කැපවෙනු බැරිද රට කරවන හැම උතුමන්?

©ems

Tuesday, November 24, 2009

සනසවන්නට තවම දිරි ඇත..

නෙත් සරින් සැරි කඳුළු කැට කැට
සාගරේ සේ ගලා යද්දී
කඳුළු තෙලිතුඩ පුංචි දෑසේ
දුක්ඛ සිතුවම් මවාලද්දී
පිසාලන්නට දිලෙන කම්මුල
දෑත දිඟු නැහැ නොවේ නංගී
වියෝවේ මහ පවුරු බැඳ ඇත
අප මැදින් මුලු ලොවම හැංගී

රකින්නට ඔබ සදාතනිකව
සෙනෙහසක් පෙර දින ලැබූ
රොන් උරා ගෙන බිඟුන් ඔබගේ
යහන රත් පැහැයෙන් වැසූ
සුමුදු මල් පෙති තැලී පොඩිවී
විසිරුණා දින ඔබ හැඬූ
වැටුනෙ මල් වරුසා නොවේ
නව නිගාවන් අවමන් සැදූ

ඇසිපියන් යට සැඟව ඇත්නම්
අහිංසක සිහිනයේ නටබුන්
සනසවන්නට හිතට දිරි ඇත
නගේ පෙම්බර හද හැඟුම්
ලෝකයේ රුදු ඊ හිසින්
හද සිදුරු වූවත් පණ පිටින්
ලැගුම් දෙනු මැන මගේ ළමැදට
සෙනෙහසින් ළඳුනේ ඉතින්

©
ems