සිංහල අකුරු මෙතනින් ගන්න.

Tuesday, December 29, 2009

අපේ දෙස්පලුවෝ

රට කරවන්ට විඳිනා දුක් බැලූ විට
දිවි පරදුවට තියනා අය දකින විට
කිසි දින නොදුටු මුත් හසරැල් නඟන කොට
නොම දී ඉඳීවිද කතිරය නිසි කලට

කලින් කලට පමණයි අප හමුවන්නේ
හමුවන වරින් වර ඔහුනම් තර ‍වන්නේ
අපගේ කඳුළු කිසිවක් නෑ අඩු වෙන්නේ
දෙපිලට බෙදී අපි වෙනුවෙන් පොරකන්නේ

බලයෙන් වැටී යන විට ඉන්නා අසුනින්
යළි අප සොයාවිත් සිය පිට කොඳු නමමින්
මුලු ලොව අප දෙපා මුල ගෙනෙනා විලසින්
පොදි බැඳි පැතුම් ඇත මතු ඉටු කරන ලෙසින්

"අනුවණ දනා අපි රැවටුවෙමු"යි සිතමින්
නොසිකා නැවත එම දෙය යළි යළි කරමින්
දැන්වත් හුදී මහජන සුව සෙත වෙනුවෙන්
කැපවෙනු බැරිද රට කරවන හැම උතුමන්?

©ems

Tuesday, November 24, 2009

සනසවන්නට තවම දිරි ඇත..

නෙත් සරින් සැරි කඳුළු කැට කැට
සාගරේ සේ ගලා යද්දී
කඳුළු තෙලිතුඩ පුංචි දෑසේ
දුක්ඛ සිතුවම් මවාලද්දී
පිසාලන්නට දිලෙන කම්මුල
දෑත දිඟු නැහැ නොවේ නංගී
වියෝවේ මහ පවුරු බැඳ ඇත
අප මැදින් මුලු ලොවම හැංගී

රකින්නට ඔබ සදාතනිකව
සෙනෙහසක් පෙර දින ලැබූ
රොන් උරා ගෙන බිඟුන් ඔබගේ
යහන රත් පැහැයෙන් වැසූ
සුමුදු මල් පෙති තැලී පොඩිවී
විසිරුණා දින ඔබ හැඬූ
වැටුනෙ මල් වරුසා නොවේ
නව නිගාවන් අවමන් සැදූ

ඇසිපියන් යට සැඟව ඇත්නම්
අහිංසක සිහිනයේ නටබුන්
සනසවන්නට හිතට දිරි ඇත
නගේ පෙම්බර හද හැඟුම්
ලෝකයේ රුදු ඊ හිසින්
හද සිදුරු වූවත් පණ පිටින්
ලැගුම් දෙනු මැන මගේ ළමැදට
සෙනෙහසින් ළඳුනේ ඉතින්

©
ems



Monday, November 23, 2009

මොනවා කියූවත් මා ලීවේ කවිය....

නව යෞවන වියේ පැතුමන් හද වාසේ
තව සැගවිලා නොසිටුනු ඇත හොර රහසේ
හදවත ඇදේ සොයමින් ආදර පහසේ
ඔබ පෙම් බදින්නේ වරදද ඔය වයසේ

පෙම් කෙරුවාට දෙදෙනෙකු තම තුරුණු දිනේ
වරදක් නැති නමුත් බිදුනොත් බැදුනු සෙනේ
දුක් සෝ වේදනා දෙදෙනා හද රැදුනේ
කදුලක තනිවෙලයි ජීවිතයම ගෙවුනේ

ප්‍රේමය තවම විද නැත්තේ කවරහුද
සොයමින් නොයනු පැටලෙන්නට පෙම වරද
සෙනෙහස පුදා ඇත්නම් දැනටම දෙහද
වෙන් නොම වෙලා එක් වී ඉනු මැන සබද

පෙම් කර නසා ගති බෝ දෙන සිය දිවිය
ආදර කතා කළ සමහරු අත අවිය
ප්‍රේමය නිසා නොපුදනු යෞවන සවිය
මොනවා කියූවත් මා ලීවේ කවිය

© ems

කවියත් වෙනස් කරනු බැරිද?

මෙතුවක් මා ඇසූ සිංහල ගීතවල
තිබුණේ සිහල පද වැල් තේරෙන අපට
එනමුත් අද ඇසෙන සමහර ගීතවල
නෙකවිධ වෙනස් භාෂාවල වචන ඇත

අරුතක් ඇතත් නැතුවත් ඔබ ඒ ගීත
අසනා හෙයින් බලමින් මේ කවිය දෙස
නොකියනු මෙමා බුද්ධිය නැති සිහි විකල
කවියෙකු කියා අරුතක් නැති කවි ලීව

cap පිටුපසට පළඳා ගෙන යන මෙකල
tap එක විවර කළ වාගෙයි rap නිතර
කවියත් ඉතිං රැප් කර තිබුණොත් යසට
කවුරුත් පෙම් බඳියි කවියක ඒ රසට

කාලෙට අනුව තාලය දැමු ගී ඇසෙන
ගෝලියකරණෙ හැටි වෙන්නැති මට හිතෙන
මේ වගෙ කලට එක එක විදියට නටන
ජාතික ගීය පුදුමයි රැප් කර නැතුව

කාලෙට අනුව හැම වෙනසම සිදු වෙද්දී
පැලඳුම් ඇඳුම් ආහර නෙක විධි එද්දී
ගීතය නැටුම රංගන වෙනතක යද්දී
මා හට සිතුණි කීමට කවි වෙනසක් වී


©ems




Friday, November 20, 2009

කවියක් විය නැගුණු තනිවුන හදවතක.....

සතුටේ සඳු වසාලන දුක් වළාවක
ගතවුනු විවේකය මා ලද නිමේෂෙක
පද වැල් ගොනු වෙලා මා මැව් සිහිනයෙක
කවියක් විය නැගුණු තනි වුන හදවතක

දිවියේ දෙනෙත් අභියස හමුවන ගැහැට
කඳුලැලි පිසින සුදුවන් දෙඅතක් සුමට
රලු කතරක් වෙවී වියළෙන දිවියකට
ඔබ විය දිය දහර ඉහිරුනු මගෙ හිතට

රැඳෙනා තුරා හැම සුසමක් මගෙ මුවඟ
පියවෙන තුරා කවදා හෝ මගෙ නෙතඟ
සිටිනා තුරා උණුසුම ළග මගෙ ළමැද
සරනා තුරා සසරේ ඔබ ළග නිබඳ

සුරඹුන් සැරිසැරූවත් මිහිපිට දසත
ඔබ රුව මැවේවා පෙම්බර මගෙ දෙනෙත
අවසන් සුසම් පොද මා හෙලනා මොහොත
ඔබ ළඟ සිටියොතින් එය වේ මගෙ සැපත

ගෙවෙනා හැම නිමේෂෙක ආදරයේ රස
ඔබ විය මගේ මුවේ සිනහවෙ රැදි රහස
මා මියැදුන පසුව ලැබුවොත් දුක් පහස
කවුරුද පිසින්නේ ආදර ඔබෙ දෑස
© ems

මෙහෙමත් හඬන්නේ නුඹ හින්දා කවුරු...?

සයුරු බිමට ගියදා නුඹ මාව දමා
දෙනෙත මගේ හැඩුවා මුලු ගතම තෙමා
මා වටකර ඉන්නේ කඳුකරය තමා
එන්න හිතයි වෙරළට නොම වීලා පමා

නොකී නමුත් නුඹ මෙහි සිටි දවසකට
හොර රහසේම බැඳුනා හදවත නුඹට
පුංචි වැඩි නිසා නුඹ තව පෙම් ‍ ලොවට
කොහොම කවන්නද පෙම් විස නුඹෙ හදට

දන්නේ නැති නිසා මගෙ ආදරය ගැන
වෙන්වී ගිය දවසෙ නුඹනම් හිනා වුන
බිඳක් සිනාසී සමු දුන්නත් වුවන
නුඹ නොදුටුව තැනක් මගෙ හැඩුවා එදින

දුටුවද තැවී අඹුවක් හඬනා අයුරු
සැමියෙකු ලොවෙන් සමුගන්නා විට සොඳුරු
එලෙසම හඬා වැටුනා හද බිඳ පවුරු
මෙහෙමත් හඬන්නේ නුඹ හින්දා කවුරු

වියළී දිනෙන් දින තිබු ඇස් හිනා වෙවී
කලකට පසුව තෙමුනා දිනයකදි රවී
සනසන්නට අසල සිටිමුත් මාගෙ දෙවි
සිත මගෙ ලියා දුන්නා මේ කඳුලු කවි

දෙවියන් වරම් දේ නම් ඔබෙ අත ගන්න
පුංචි රටේ සිටියත් ඈතට වෙන්න
නිසි කල වයස සපිරෙන විට ඔහෙ එන්න
මට හැකි වේවි නුඹ හා නිති සැනසෙන්න

නුඹ ඉදිරියේ අන් හැම අඳ ගොළු වේවා
ඔය රූසිරිය වෙන කෙනෙකුට නොපෙනේවා
මා එන තුරුම නුඹෙ දිවි පිවිතුරු වේවා
මට විතරක්ම ඔය සඳවත හිමි වේවා

© ems

එතෙර ගිය සෙනෙහස..

පොල් අතු සෙවිලි කළ පැල්පත වහල කොනින්
රූරා වැටෙයි වැහි බිඳු ගෙයි බිම තෙමමින්
බිළිඳා හඬයි කුස ගින්නට කිරි යදිමින්
අම්මා සොයයි කිසිවක් පුතුනට දෙන මෙන්

හදවත දරන් නැත මෙතරම් දුක් ගැහැට
කෙලෙසින් බලා ඉන්නද ඇය වැද ගෙයට
සයුරින් එතෙර ඈතින් ඇති දුරු රටට
අම්මා ඉගිල යයි අත මිට නැති කලට

පියතුම් ළයේ තනි වූ බිළිඳුන් බලමින්
ඇය එනතුරුම නෙත් දල්වා ගෙන හිඳිමින්
ලැබ දෙන නමුදු පිය සෙනෙහස හැම අයුරින්
දූ පුතු වැඩේවිද මිදෙමින් මව් සෙනෙහෙන්

අතමිට සරු කරන් රන් මිණි මුතු ගෙනෙමින්
මව් යළි පැමිණියත් දරු සම්පත සොයමින්
දරුවන් නොමඟ ගිය විට දුසිරිත් හැමෙකින්
අගයක් වේද ඇය හෙලු දහදිය කඳුලින්

© ems