සිංහල අකුරු මෙතනින් ගන්න.

Tuesday, March 29, 2016

අදටත් සමිඳ ඔබ ජීවත්වනසේක (A poem for Easter)


රුදු කුරුසියක පණ නල සිඳුනා            නේද
මුළු ලොව අඳුරුවී අහසත්               හැඬුවාද
පර්වත සැලී සැමටම දුක                    කීවාද
සිකුරාදාව කඳුලින් පිරුණා                  නේද

රෙදිකඩ ඔතා සමිඳුගේ නිසසල           සිරුර
සතපා තැබුණි සොහොනක අැති ගල්   කුහර
මියැදුණු දෙනෙත වැසුණෙය දිලෙමින් රුහිර
දැනුනේ නැතිද ජය අැති බැව් දැන්        නුදුර

අරුණැලි නැඟෙන විට ඉරුදින ගෙනෙන්නට
සොහොනෙහි නිදන මළ සමිඳුන්    දකින්නට
දැක දැක දුකට යළි යළි තව           හඬන්නට
මරියා ගියෙද මියැදුණු ඔබ              දකින්නට

විවරව තිබුණි දොරටුව සොහොනෙහි මැද්දේ
දුටුවිට දසුන මරියගෙ හදවත             ගැස්සේ
පුදුමෙකි එතුන රෙදි කඩ පමණයි      අැත්තේ
මියැදුනු සිරුර තිබු තැන දැන්නම්     නැත්තේ

මරණය පරදවා ඔබ               නැගිටුණුසේක
මුළු ලොව මවිත කළ උත්ථානය         මේක
සොහොනට, කුරුසියට බල නැත    කිසිදාක
අදටත් සමිඳ ඔබ  ජීවත්වන                 සේක

ගතවී ගියෙද දෙදහස් වසරක්             නේක
සත්‍යය ඔබම වී මුළු ලොව දිනු           සේක
රජතුම ලෙසින් ඔබ යළි            වඩිනා දාක
දෙව්ලොව වෙතට හිමි මා ගෙය    යනසේක


© Enoch Mahesh Silva

Friday, August 28, 2015

ඒ පෙම් කුසුම සිඹ සිඹ මා මියැදෙන්නම්

අකලට බැඳුනු පෙම වුව දළුලා වැඩුනි
පතුලට හදවතේ එය ගැඹුරට ඇදුනි
කඳුලට සිනහවට නිතරම පොර බැදුනි
‍ලොවකට නොවැටහෙන ආදරයක් රැඳුනි

නෙක විධ ගැහැට මැද ඈතට ගලා ගිය
සුන්දර පෙමට තහනම් එමකටම විය
දිවි දෙන තරම් කළමුත් ආදරය සිය
කඳුලැලි මහමෙරක් ලෙස විඳවන්න විය

අමතක කරනු බැරි තරමට ළංවීනම්
දෙ‍තැනක හිඳ වුවද තරමක් සැනසෙන්නම්
අවසන් සුසුම පුදදෙන තුරු ළතැවෙන්නම්
ඒ පෙම් කුසුම සිඹ සිඹ මා මියැදෙන්නම්


© Enoch Mahesh Silva

Thursday, March 15, 2012

තවත් ඉරු දිනකි අද...

තවත් ඉරු දිනකි අද
ගියෙමි දෙව් පාමුලට
හදවතම පිරීගිය
දෙව් සෙනෙහෙ නිමක් නැත...

නැතත් මහ මන්දිර
රියක් සක කරැකවෙන
බැඳන් පොදි සල්ලි මිටි
අගෙයි මගෙ ජීවිතය...

සිනහවද කඳුල ළඟ
එක ලෙසම හිනහෙන්න
දිරිය මට අදත් ඇත
ස්තුතියි යේසුනි ඔබට...

© Enoch Mahesh Silva

Thursday, November 11, 2010

බැල්මක් කළ හදිය

සිත්මල් පතුල හාරා එහි නිදන් වන
සිතුවිලි සයුර කළඹා නිති උදම් වෙන
මොහොතින් මොහොත දවසෙම මට මතක් වෙන
ඔය රුව මැකෙනු නැත මට ඇති තුරා පණ

හද ගැබ විනිවිදන් බැල්මක් කළ හදිය
ඔය ඇස් දෙකට උපමා රූපක මදිය
වියළී නතර වී තිබු පෙම්බර නදිය
ආයෙත් ගලනු ඇත සිත ඔබටම ලැදිය

සේයාරුවින් පමණක් ඔබ දැක ගන්න
හැකිමුත් නොහැක ඔබ හා දොඩමළු වන්න
වරමක් නොමැත මුදු ඇසිපිය සිපගන්න
කවුරුද පිනැති පෙම්වත ඔය අත ගන්න

සිහිනය ලෙසින් මට අහිමිව යන දෑත
වළකනු කෙලෙස පරවී යන මල් දෝත
ඔබ තව යාවී දසුනින් නොපෙනෙන ඈත
ඉවසා තනිව ඉන්නම් මේ රෑ සීත

© Enoch Mahesh Silva

Monday, September 20, 2010

දෙව් පෙම කොයිතරම්දැයි ලොවටම පෙනුණි

පාපයේ වළාවෙන් අඳුරුව මිනිස් ලොව
සාපය වැළඳගෙන කරතිය තවත් පව
මේ යන ගමන කෙළවර නැත අරුත් බව
දනිතත් අයාලෙන් යති ඒ නිසයි සොව

අදමිටුකමින් මනුසත් ලොව මුදවන්න
දෙලොවින් ඇවිත් පොළවෙහි විය උපදින්න
රජ සැප නොමැති ගව ලෙන තුළ සැතපෙන්න
දෙවිඳුන් මිනිස් වෙස් ගති අප ගළවන්න

රෝ දුක් වේදනා විඳි අසරණ මිනිසුන්
කිසිවෙකු සරණ නොලබා නිති විය සිහිසුන්
එතුවක් ගෙවූ හැමගේ ජීවිත හරසුන්
සමිඳුන් එළි කළා දුරු කරමින් කෙලෙසුන්

කිසිවිට කිසිවෙකුට වරදක් නොකළ මුදු
යේසුස් නමට කම්පිත විය යකුන් හුදු
ගත කළ ජීවිතය නොකිලිටි ඉතා සුදු
සමිඳුගෙ දිවිය කෙළවර නම් වුණා රුදු


විසකටු පිරුණු කිරුලක් සිරසට වැටුණි
තිස් නව වරක් සමිඳුව කසයෙන් තැළුණි
දෑතම දෙපසා විහිදා කුරුසෙට ඇනුණි
දෙව් පෙම කොයිතරම්දැයි ලොවටම පෙනුණි

ලේ ගඟ ගලා යනවා සිරි දෙපා අග
පාපයේ මිලය ගෙව්වා කුරුසියේ නැග
සාමය සතුට සුවයද ඇත සමිඳු ළඟ
එනු ඔබ සැවොම නව දිවියට මෙයයි මඟ



© Enoch Mahesh Silva








Friday, August 20, 2010

දවසින් දවස වැටුනත් තරු බිමට ගතේ - නුඹ බැබලෙනවා සිරිලක හැමදාම පුතේ

සුරු විරු සෙබල පුතුනට නිති ජය කැන්දා
මුළු ලොව හොඳම සෙන්පති ලෙස නම රන්දා
පිට කොඳු නොබිඳගත් විරුවකු වන හින්දා
ඔබ සිර කරති නිවටයො කැල භය හන්දා


මරණය ළගින් පණ ගෙන නැගිටුනු අරුම
ඔබ නැති විටෙක නැවතුණි යුද පෙරමුණම
යුද බිම පෑ විකුම් පෙළහර දනිති සැම
ඒකයි සටන නැවතුණෙ ඔබ එන තුරුම 

කළ ගුණ නොදත් මිනිසත්කම් නොමැති වුන
උන් සිර කරයි ඔබ  කොටි නම් ළගට ගෙන
නොනැමුණු දෙදන උන් ඉදිරියේ තියෙයි පණ
කොහොමත් එපා පිළිගන්නට උන්ගෙ බණ





වීරිය දිරිය නිති රැඳවුණි ඔබගේ හිතේ
ඉදිරිය මිසක පසු පස නොරැදුණි දෙනෙතේ
දවසින් දවස වැටුනත් තරු බිමට  ගතේ
නුඹ බැබලෙනවා  සිරිලක හැමදාම පුතේ

©ems




Wednesday, June 23, 2010

කිව්වට අනාගතයක් සුභ වෙන්න නැත !




පැතුවත් ආශ්චර්යක්              ආසියාවට
සිතුවත් අනාගතයක් සුභ           සිරාවට
දුන්නත් ඡන්ද ගොන්නක් රට     පුරාවට
බැන්නත් වැඩක් නෑ දැන් හොර ගුහාවට

පළමුව දෙවනුවත් හා තෙවනුවද  මට
වටිනවා ඒක ඇත්තයි මව්බිම     අපට
ඇන්දට සරම වැන්දට නැමිලා   බිමට
ඉම්බට දරුවො මේ රට යාවිද පෙරට?

කිරි,පිටි,සීනි කන බොන දේ වැඩි වෙනවා
යන එන යාන වාහන මිල   අඩු    වෙනවා
වැඩි කළ පඩිය තව තව දැන් කල්  යනවා
කන්නද කාරෙ යන්නද හිත  ලතැවෙනවා

යුද්ධය නිමා වී වසරක් ගෙවී           ඇත
කිව්වට අනාගතයක් සුභ වෙන්න   නැත
ඡන්දය නිමා වී දෙමසක් නික්ම       ඇත
කළගුණ හිතපු මිනිහට අද කන්න  නැත

"අයිෆා" අරන් ආවට සුදු නළු           බට්ටන්
ගැහුවොත් "සීපා" අපි හැම වෙනවා නට්ටන්
වහගෙන ඉන්න කටවල් අරගෙන    පට්ටන්
කොච්චර කලක් ඉන්නද දී ගෙන   තට්ටන්?


© ems

Monday, February 15, 2010

ඡන්දය නොදුන් අය පාගා යකා නටා - සෙන්පති සිරගෙයට ගෙන ඇත රට රවටා

තිස් වසරක්ම මුළු සිරිලක වෙළාගෙන
මේ පින් බිමේ රැඳි සාරය උරාගෙන
දෑ සමඟියට බැඳි අත්වැල් ඉරාගෙන
කොටි වැජඹුනා  මිනිසුන් හැම මරාගෙන

දහසින් දහස රණ විරු දිවි අහිමි විය
අවිහිංසකව උන් ජීවිත මිලින විය
දවසින් දවස මේ ලෙස අඳුරටම ගිය
අප රට අපිත් නොදැනම කොටියටම විය

මේ ව්‍යසනය නිමවා රට මුදවන්ට
හැම ජනපතිතුමන්  විය කොටියා මරවන්ට
යුදබිම ඇතැම් විට සිදු විය පරදින්ට
එනමුත් අවැසි විය යළි යළි නැගිටින්ට


ජනපති රැගෙන යන්නට යුදයට කැන්දා
මාවිල් ආරු වසලා කොටි දිය සින්දා
විරු දූපුතුන් ගෙන ගියෙ ජයටම හන්දා
සෙන්පති සරත් නම මුළු ලොව මන බැන්දා


යුද ජය සමරමින් ගොස් ජනබලය ගෙන
කරනා කොඩිවිනය රටටම හොඳට දැන
බලමින් තවත් ඉවසන්නට බැරිම තැන
සෙන්පති බලය පැතුවේ රට හසුරුවන

මහ ජන බලය ගොඩ නැගුණත් සරත් වටා
හැමටම අරුමයක් වුණි ප්‍රතිඵලේ රටා
ඡන්දය නොදුන් අය පාගා යකා නටා
සෙන්පති සිරගෙයට ගෙන ඇත රට රවටා


දළදා මැදුර පුපුරා සඟ රුහිරු හැලූ
දහසක් ජනී ජනයා මරු තුරුලෙ ගිලූ
රට කර දෙකඩ ඊලම බල කර ඉල්ලූ
කරුණා සැපට රජගේ අද ඉන්නවලූ

සිය දිවි දෙවෙනි කොට ගොස් මරු කට ළඟට
යළි ඉපදුනා පණ ගෙන අපගේ පිනට
රදපස පවුල ළඟ නොවැටුන වරදකට
දේශයේ මහා විරු යාවිද පෝරකෙට ? 




©ems

 













Tuesday, January 12, 2010

සුන්දර සොබාදම් මව ළඟ සැනසෙන්න..

නොවරදවාම හැම උදයෙම පායනවා
මළ හිරු රැසින් සවසට හිරු බැස යනවා
තරුපති නැඟී තරු පිරිවර කැන්ඳනවා
කළු රෑ අහස ආලෝකය පතුරනවා
 
සඳ රැස් කිරණ වැටිලා නිල් දිය මත්තේ
දිදුලන අයුරු කදිමයි ගං ඉස්මත්තේ
බමරකු රොන් උරයි සුසුනිඳු මල් පෙත්තේ
කිචි බිචි හඬ ඇසෙයි ළඟ ඇති අඹ අත්තේ
 
දලනිඳු උදම් වී මහ හඬ ගොස නඟනා
වෙරළේ හැපෙයි සුදු පෙණ පිඬු රළ බිඳිනා
මින් රැළ පාට පාටින් දියයට කිඳුනා
කරදිය සුළං රැළි සියොළඟ වට රැඳුනා


හිමිදිරි සිරිය සිඹගෙන අවදිව එන්න
සඳු නැඟ දිලෙන රැයකදි යහනට වෙන්න
දිනකදි ලබන වෙහෙසට නිවනක් දෙන්න‍
සුන්දර සොබාදම් මව ළඟ සැනසෙන්න


"විශ්වයෙ මහා පිපුරුම" ගැන මා ඇසුවත්
එමඟින් මෙවන් ලොව බිහි කළ බව කීවත්
තවමත් සිතා ගනු බැහැ මේ ලොව උපතත්
මැවුම්කාර දෙවිඳුන් පුදුමයි කවදත්

©ems















Tuesday, December 29, 2009

අපේ දෙස්පලුවෝ

රට කරවන්ට විඳිනා දුක් බැලූ විට
දිවි පරදුවට තියනා අය දකින විට
කිසි දින නොදුටු මුත් හසරැල් නඟන කොට
නොම දී ඉඳීවිද කතිරය නිසි කලට

කලින් කලට පමණයි අප හමුවන්නේ
හමුවන වරින් වර ඔහුනම් තර ‍වන්නේ
අපගේ කඳුළු කිසිවක් නෑ අඩු වෙන්නේ
දෙපිලට බෙදී අපි වෙනුවෙන් පොරකන්නේ

බලයෙන් වැටී යන විට ඉන්නා අසුනින්
යළි අප සොයාවිත් සිය පිට කොඳු නමමින්
මුලු ලොව අප දෙපා මුල ගෙනෙනා විලසින්
පොදි බැඳි පැතුම් ඇත මතු ඉටු කරන ලෙසින්

"අනුවණ දනා අපි රැවටුවෙමු"යි සිතමින්
නොසිකා නැවත එම දෙය යළි යළි කරමින්
දැන්වත් හුදී මහජන සුව සෙත වෙනුවෙන්
කැපවෙනු බැරිද රට කරවන හැම උතුමන්?

©ems

Tuesday, November 24, 2009

සනසවන්නට තවම දිරි ඇත..

නෙත් සරින් සැරි කඳුළු කැට කැට
සාගරේ සේ ගලා යද්දී
කඳුළු තෙලිතුඩ පුංචි දෑසේ
දුක්ඛ සිතුවම් මවාලද්දී
පිසාලන්නට දිලෙන කම්මුල
දෑත දිඟු නැහැ නොවේ නංගී
වියෝවේ මහ පවුරු බැඳ ඇත
අප මැදින් මුලු ලොවම හැංගී

රකින්නට ඔබ සදාතනිකව
සෙනෙහසක් පෙර දින ලැබූ
රොන් උරා ගෙන බිඟුන් ඔබගේ
යහන රත් පැහැයෙන් වැසූ
සුමුදු මල් පෙති තැලී පොඩිවී
විසිරුණා දින ඔබ හැඬූ
වැටුනෙ මල් වරුසා නොවේ
නව නිගාවන් අවමන් සැදූ

ඇසිපියන් යට සැඟව ඇත්නම්
අහිංසක සිහිනයේ නටබුන්
සනසවන්නට හිතට දිරි ඇත
නගේ පෙම්බර හද හැඟුම්
ලෝකයේ රුදු ඊ හිසින්
හද සිදුරු වූවත් පණ පිටින්
ලැගුම් දෙනු මැන මගේ ළමැදට
සෙනෙහසින් ළඳුනේ ඉතින්

©
ems



Monday, November 23, 2009

මොනවා කියූවත් මා ලීවේ කවිය....

නව යෞවන වියේ පැතුමන් හද වාසේ
තව සැගවිලා නොසිටුනු ඇත හොර රහසේ
හදවත ඇදේ සොයමින් ආදර පහසේ
ඔබ පෙම් බදින්නේ වරදද ඔය වයසේ

පෙම් කෙරුවාට දෙදෙනෙකු තම තුරුණු දිනේ
වරදක් නැති නමුත් බිදුනොත් බැදුනු සෙනේ
දුක් සෝ වේදනා දෙදෙනා හද රැදුනේ
කදුලක තනිවෙලයි ජීවිතයම ගෙවුනේ

ප්‍රේමය තවම විද නැත්තේ කවරහුද
සොයමින් නොයනු පැටලෙන්නට පෙම වරද
සෙනෙහස පුදා ඇත්නම් දැනටම දෙහද
වෙන් නොම වෙලා එක් වී ඉනු මැන සබද

පෙම් කර නසා ගති බෝ දෙන සිය දිවිය
ආදර කතා කළ සමහරු අත අවිය
ප්‍රේමය නිසා නොපුදනු යෞවන සවිය
මොනවා කියූවත් මා ලීවේ කවිය

© ems

කවියත් වෙනස් කරනු බැරිද?

මෙතුවක් මා ඇසූ සිංහල ගීතවල
තිබුණේ සිහල පද වැල් තේරෙන අපට
එනමුත් අද ඇසෙන සමහර ගීතවල
නෙකවිධ වෙනස් භාෂාවල වචන ඇත

අරුතක් ඇතත් නැතුවත් ඔබ ඒ ගීත
අසනා හෙයින් බලමින් මේ කවිය දෙස
නොකියනු මෙමා බුද්ධිය නැති සිහි විකල
කවියෙකු කියා අරුතක් නැති කවි ලීව

cap පිටුපසට පළඳා ගෙන යන මෙකල
tap එක විවර කළ වාගෙයි rap නිතර
කවියත් ඉතිං රැප් කර තිබුණොත් යසට
කවුරුත් පෙම් බඳියි කවියක ඒ රසට

කාලෙට අනුව තාලය දැමු ගී ඇසෙන
ගෝලියකරණෙ හැටි වෙන්නැති මට හිතෙන
මේ වගෙ කලට එක එක විදියට නටන
ජාතික ගීය පුදුමයි රැප් කර නැතුව

කාලෙට අනුව හැම වෙනසම සිදු වෙද්දී
පැලඳුම් ඇඳුම් ආහර නෙක විධි එද්දී
ගීතය නැටුම රංගන වෙනතක යද්දී
මා හට සිතුණි කීමට කවි වෙනසක් වී


©ems




Friday, November 20, 2009

කවියක් විය නැගුණු තනිවුන හදවතක.....

සතුටේ සඳු වසාලන දුක් වළාවක
ගතවුනු විවේකය මා ලද නිමේෂෙක
පද වැල් ගොනු වෙලා මා මැව් සිහිනයෙක
කවියක් විය නැගුණු තනි වුන හදවතක

දිවියේ දෙනෙත් අභියස හමුවන ගැහැට
කඳුලැලි පිසින සුදුවන් දෙඅතක් සුමට
රලු කතරක් වෙවී වියළෙන දිවියකට
ඔබ විය දිය දහර ඉහිරුනු මගෙ හිතට

රැඳෙනා තුරා හැම සුසමක් මගෙ මුවඟ
පියවෙන තුරා කවදා හෝ මගෙ නෙතඟ
සිටිනා තුරා උණුසුම ළග මගෙ ළමැද
සරනා තුරා සසරේ ඔබ ළග නිබඳ

සුරඹුන් සැරිසැරූවත් මිහිපිට දසත
ඔබ රුව මැවේවා පෙම්බර මගෙ දෙනෙත
අවසන් සුසම් පොද මා හෙලනා මොහොත
ඔබ ළඟ සිටියොතින් එය වේ මගෙ සැපත

ගෙවෙනා හැම නිමේෂෙක ආදරයේ රස
ඔබ විය මගේ මුවේ සිනහවෙ රැදි රහස
මා මියැදුන පසුව ලැබුවොත් දුක් පහස
කවුරුද පිසින්නේ ආදර ඔබෙ දෑස
© ems

මෙහෙමත් හඬන්නේ නුඹ හින්දා කවුරු...?

සයුරු බිමට ගියදා නුඹ මාව දමා
දෙනෙත මගේ හැඩුවා මුලු ගතම තෙමා
මා වටකර ඉන්නේ කඳුකරය තමා
එන්න හිතයි වෙරළට නොම වීලා පමා

නොකී නමුත් නුඹ මෙහි සිටි දවසකට
හොර රහසේම බැඳුනා හදවත නුඹට
පුංචි වැඩි නිසා නුඹ තව පෙම් ‍ ලොවට
කොහොම කවන්නද පෙම් විස නුඹෙ හදට

දන්නේ නැති නිසා මගෙ ආදරය ගැන
වෙන්වී ගිය දවසෙ නුඹනම් හිනා වුන
බිඳක් සිනාසී සමු දුන්නත් වුවන
නුඹ නොදුටුව තැනක් මගෙ හැඩුවා එදින

දුටුවද තැවී අඹුවක් හඬනා අයුරු
සැමියෙකු ලොවෙන් සමුගන්නා විට සොඳුරු
එලෙසම හඬා වැටුනා හද බිඳ පවුරු
මෙහෙමත් හඬන්නේ නුඹ හින්දා කවුරු

වියළී දිනෙන් දින තිබු ඇස් හිනා වෙවී
කලකට පසුව තෙමුනා දිනයකදි රවී
සනසන්නට අසල සිටිමුත් මාගෙ දෙවි
සිත මගෙ ලියා දුන්නා මේ කඳුලු කවි

දෙවියන් වරම් දේ නම් ඔබෙ අත ගන්න
පුංචි රටේ සිටියත් ඈතට වෙන්න
නිසි කල වයස සපිරෙන විට ඔහෙ එන්න
මට හැකි වේවි නුඹ හා නිති සැනසෙන්න

නුඹ ඉදිරියේ අන් හැම අඳ ගොළු වේවා
ඔය රූසිරිය වෙන කෙනෙකුට නොපෙනේවා
මා එන තුරුම නුඹෙ දිවි පිවිතුරු වේවා
මට විතරක්ම ඔය සඳවත හිමි වේවා

© ems

එතෙර ගිය සෙනෙහස..

පොල් අතු සෙවිලි කළ පැල්පත වහල කොනින්
රූරා වැටෙයි වැහි බිඳු ගෙයි බිම තෙමමින්
බිළිඳා හඬයි කුස ගින්නට කිරි යදිමින්
අම්මා සොයයි කිසිවක් පුතුනට දෙන මෙන්

හදවත දරන් නැත මෙතරම් දුක් ගැහැට
කෙලෙසින් බලා ඉන්නද ඇය වැද ගෙයට
සයුරින් එතෙර ඈතින් ඇති දුරු රටට
අම්මා ඉගිල යයි අත මිට නැති කලට

පියතුම් ළයේ තනි වූ බිළිඳුන් බලමින්
ඇය එනතුරුම නෙත් දල්වා ගෙන හිඳිමින්
ලැබ දෙන නමුදු පිය සෙනෙහස හැම අයුරින්
දූ පුතු වැඩේවිද මිදෙමින් මව් සෙනෙහෙන්

අතමිට සරු කරන් රන් මිණි මුතු ගෙනෙමින්
මව් යළි පැමිණියත් දරු සම්පත සොයමින්
දරුවන් නොමඟ ගිය විට දුසිරිත් හැමෙකින්
අගයක් වේද ඇය හෙලු දහදිය කඳුලින්

© ems

Wednesday, November 4, 2009

...මිහිරිය ඔබයි...

යෙහෙළිය ඔබයි නිති මා සමඟින් යනෙනා
සෙවණැලි ලෙසින් ඔබ මා පසුපස රැ‍ඳෙනා
පහනක් වෙලා නෙත් ඉදිරිය එළි කරනා
මිහිරිය ඔබයි මගෙ දිවි සුව යස ගෙනෙනා

සංකා සිතින් දුටුවෙමි මෙලොවේ මායා
ඔබගේ නෙතින් පළවුනි මුල් පෙම ඡායා
මහදේ නැගුණි පෙම් කුසුමන් නෙක සේයා
එම දින දිලුණි තරු කැන් සතොසින් පායා

ඉපදුනු නිසා මෙතුවක් මිහිපිට වසමින්
සිටියේ කෙදිනදෝ මියැදෙන්නේ සිතමින්
ඔබෙ පෙම නිසාවෙන් එම සිතුවිලි නසමින්
මතුවට ගෙවන්නෙමි මම දිවි ඔබ වෙනුවෙන්

සැනසුම සතුට පිරි නිවහල් අපෙ ලොවට
ඔබ මා පැමිණී දා එක වහලක් යටට
හොඳ පතිනියක වනු මැන සැමදා මහට
සදහට වාසනා වේවා අපෙ පැලට

©ems




Tuesday, November 3, 2009

....හදවත කැකුළ විය පීදෙන පෙම් හිරුට....

දෝතට නෙළා ගත් මල් පෙති සුළඟෙ ගියා
ගඟකින් කැපූ නෙළුමන් ගඟ දිගේ ගියා
සතුටට හෙළූ අස්වැසුමන් මැකී ගියා
වාසනාව මා හැරදා යන්න ගියා

මා ලද සියලු දේ මෙතුවක් දුක දරලා
ලෙය දහදිය එහැම යට ඇත සැඟවීලා
අපමණ වරක් ඇත මියැදෙන්නට සිතිලා
කඳුලැලි මිතුරු විය මා හා තනි මකලා

ඔබ හා බැඳී ඇත මගෙ සිත පෙම යාවී
පිටුපා නොයනු යළි මා අසරණ වේවී
මා හා පෙම් කෙරුම අභිමන් නො ගෙනේවී
එනමුදු අහක නොබලන් මගෙ සඳ සාවී

බැලුවත් එබී හිනැහී මා කැඩපතට
මොනවා බලන්නද හිතුනා මගෙ හිතට
හදවත කැකුළ විය පීදෙන පෙම් හිරුට
සිතුවිලි හඬනවා නිතරම මගෙ දුකට

©ems



යළි හමු නොවෙමු !

ජීවිතය පුරාවට
ගලයි කඳුලැලි නෙතට
නොනැවතී හදවතින්.....
මා පැතූ සොඳුරු ලොව
මගේ නෙත් අභියසම
බිඳී යයි සුන් වෙලා
ඔබේ සිනාවන් මැද......
නිල් නුවන් වැසී ගිය
සුදු සේල සේදයෙන්
වැසී යයි මා දසුන්
ඔබේ මංගල දිනේ......
ඝන මේඝ වළාවක
තනිව මා අඳුර මැද
ඉකි ගසමි වියෝවෙන්
හුදෙකලා ලෝකයක......
නිමක් නැති සසර තුළ
හමුවුනොත් යළිත් අප
වෙන්ව යමු දුර ඈත
පෙම්වතුන් නොවන ලෙස...
මන්ද අපි එක් වරක්
"ආදරය" නම් වදන
නිගාවට පත් කෙළෙමු
එහි අරුත කෙලෙසමින්
රිදුම් දී හදවතට...
ආදරය අමිහිරිද?
නැත සදා සුන්දරය....
ජීවනය ඇත්තේද මිහිමතේ ඒ තුළය
එහෙත් එය අපටනම්
කිසිම දා නොලැබේවි
නිමා වන තුරුම මේ
සංසාර මාවත........

©ems




Thursday, October 29, 2009

සිහිනයක් සේ නිමව ගිය පෙම


ආදර හසරැල් මුව සරසාලා
දුටුවිට මගේ හිත සනසාලා
යා වුනු දෙසිතක් එක් තැන් වීලා
පැටලුනි සිහිනෙක පෙම් සුව පාලා

දින දින ගතවී කාලය යාවී
මා හා සිටි ඔබ දුරතක පාවී
බිඳ බිඳ එක්වී සදහට වෙන්වී
ඔබ රතැඟිලි මට හැමදා අහිමි

ශෝක සුසුම් නොම වේවා ඔබ හට
ගිනි ගෙන දැවුනත් පෙම් කළ මගෙ හිත
හිමි නැති ඔබෙ ලොව නොපෙනෙන ඈතට
යන්නෙමි මා ඔබ නෙත නොගැටෙන්නට..

©ems